වවුනියාවේ නිලධාරීන් තොරතුරු ඉල්ලීම්වලට ප්‍රමුඛ්ත්වය දී කටයුතු කරයි

කේ. නර්තනන් පෙරේදා දිනයේ දී වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගියේ තම පවුල මුහුණ දී සිටින ප්‍රධානතම ගැටලුවකට විසඳුමක් ලබා ගැනීමේ අධිෂ්ඨානයෙනි. තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ නර්තනන් ඇතුලු සියයකට ආසන්න පිරිසක් මෙම තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් තිබුණි.

“1995 දි ප්ලොට් සංවිධානයෙන් තමයි අපිට මේ ඉඩම් ලබා දුන්නෙ. යුද්ධයෙන් අවතැන් වෙලා ඉදලා ඇවිත් මේ ඉඩම්වල පදිංචි වුනා. ඒත් අදටත් අපි දන්නෙ නැහැ මේ ඉඩම් අයිති ආණ්ඩුවටද කාටද කියලා. ඒක හරියට දැනගත්තොත් අපිට ඉස්සරහට මොනවාහරි කරන්න පුලුවන්. ග්‍රාම නිලධාරීගෙන්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්, ඉඩම් එකෙන් මේ ඉඩම්වලට බලපත්‍ර දෙන්න කියලා ඉල්ලුවා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නැහැ.”
වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලීම ඉදිරිපත් කල අවස්ථාව පිලිබඳව නර්තනන් කලේ මෙවැනි සඳහනකි.

“අපේ ඉඩම් අයිති කාටද, ඒවා නොදෙන්න හේතු මොනවද කියන එක දැනගන්නයි අපි මේ ඉල්ලුම්පත්‍ර දැම්මෙ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අය අපේ ඉල්ලීම් බාර අරගෙන ලියාපදිංචි කරලා සීල් ගහලා ඒවා බාර ගත්තා කියලා රිසිට් දුන්නා.”

වව්නියාව හා මඩු ප්‍රාදේශිය ලේකම් කාර්යාල මුල්වතාවේදී තොරතුරු ඉල්ලීම් බාර ගැනීමට මැලිකමක් දැක්වූ අතර රිසිට්පත් ලබා දී තිබුණේ ද නැත. එහෙත් මෙවර ඉල්ලීම් ලබා දීම සඳහා විශාල පිරිසක් එම ස්ථානයට ගොස් සිටි අතර රාජකාරී කටයුතු මධ්‍යයේත් අදාල නිලධාරීන් තොරතුරු ඉල්ලීම්වලට ප්‍රමුඛ්ත්වය දෙමින් කටයුතු කර තිබුණි. ඒ පිලිබඳව මිත්‍රත්වය සහ සහයෝගීතාව සඳහා තරුණ සංවිධානයේ සභාපති රවීන්ද්ර ද සිල්වා මහතා අදහස් පල කලේ මෙසේ ය.

“වව්නියාව සහ මඩු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එක් දිනක් තුල 270කට අධික පිරිසකගේ තොරතුරු ඉල්ලීම් බාරගෙන තිබුණා. එක් දිනයක් තුල ඔවුන්ගේ අනෙකුත් රාජකාරිවල යෙදී සිටින අතරේ එවැනි කැපවීමක් කිරීම සුවිශේෂි තත්ත්වයක්. වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීවරයා ලෙස කටයුතු කරන්නේ පරිපාලන නිලධාරීවරයායි. ඔහුගේ අනෙකුත් රාජකාරි කටයුතු මධ්‍යයේත් මෙච්චර ඉල්ලීම් ප්‍රමාණයක් දවසක් තුල ලබා ගන්න ඔහු සෑහෙන කැපවීමක් කලා. ඒ වගේම අපි ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට තොරතුරු ඉල්ලීම් යැව්වට පස්සෙ එම කාර්යාලවල තොරතුරු නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, ප්‍රාදේශිය ලේකම්වරුන් හෝ සහකාර ප්‍රාදේශිය ලේකම්වරුන් අපිට දුරකතනයෙන් කතා කරලා අපිව දැනුවත් කලා අපේ තොරතුරු ඉල්ලීම් ලැබිලා තියෙනවා ඒවා ලැබුණු බවට වන රිසිට්පත් අපිට එවනවා කියලා. අපි ප්‍රාදේශිය ලේකම් කාර්යාල 34කට තොරතුරු ඉල්ලීම් යවා තිබෙනවා දවස් පහක් ඇතුළත ප්‍රාදේශිය ලේකම් කර්යාල දහතුනකින් රිසිට්පත් එවා තිබෙනවා. මඩු ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් අතුරුදන් වූවන් පිලිබදව හා හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන ඉඩම් පිලිබඳ තොරතුරු මේ වන විටත් ලබා දී තිබෙනවා.”

නර්තනන්ගේ වැඩිමහල් සොහොයුරා වකුගඩු රෝගියෙකු වන අතර ඒ නිසාම වැඩක නිරත වීමේ හැකියාවක් නොමැත. නර්තනන්ගේ මවද වයස්ගතය. පියා නර්තනන්ගේ පවුල අතහැර යනවිට ඔහුගේ වයස අවුරුදු දෙකකි.සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගෙන ඇති නර්තනන් ඇන්කර් නියෝජිත කාර්යාලයේ කෙටි කාලීන සේවකයෙකු ලෙස කටයුතු කරයි. මේ නිසා නර්තනන්ගේ පවුල ජීවත් වන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේය.

තවමත් 21වන වියේ පසුවන නර්තනන්ගේ එකම බලාපොරොත්තුව වී තිබෙන්නේ තමා පදිංචි ඉඩම පිලිබඳව ඇති අවුල විසඳාගෙන ඒ සඳහා බලපත්‍රයක් ලබා ගැනීමය. ඒ සඳහා කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ නර්තනන්ට පමනි. මෙම ප්‍රදේශයේ රජයේ ඉඩම් මෙන්ම පුද්ගලික ඉඩම්වලද ජනතාව ජීවත් වන අතර සමහර ගම්වල ඉඩම්වලට බලපත්ර ලබා දී තිබේ. කට්පහපුරම් ග්රාමයේද බලපත්‍ර ලබා දී ජනතාව පදිංචි කර තිබේ. එහෙයින් දීර්ඝ කාලයක් මෙම ඉඩම්වල පදිංචි වී සිටින නර්තනන්ට තම ඉඩම් පලිබඳව තොරතුරු ලබාගෙන සාධාරණය ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබේ.