ලංකාවේ තොරතුරු අවශ්‍යතාවය ඉන්දියාවට වඩා වැඩියි

ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව වැඩිවීම හා ජන ජීවිතය කෙරෙහි රාජ්‍යයේ බලපෑම වැඩිවීම නිසා වෙනත් රටවල්වලට සාපේක්ෂව මෙරට තොරතුරු සඳහා වන ඉල්ලීම් ප්‍රමාණය වැඩිවනු ඇතැයි තොරතුරු ඉල්ලීම් පිලිබඳ උපදේශක පියතිස්ස රණසිංහ මහතා rtiwire සමඟ පැවති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේය. ඒ මහතා සමඟ පැවති සාකච්ඡාව මෙසේ ය.

 තොරතුරු දැනගැනීමේ අයිතිය පෙබරවාරි 04 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු සූදානම් බව ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඒ සඳහා වන යාන්ත්‍රණය සූදානම්ද?

 

යාන්ත්‍රණය පනතෙම සඳහන් වෙනවා. හැම ආයතනයක්ම තොරතුරු නිලධාරීන් පත් කර තිබෙනවා, නම් කල නිලධාරීන් පත් කර තිබෙනවා. දැනට ගැසට් එකටත් යවලා තියෙන්නෙ. තොරතුරු අයිතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්.

 

තොරතුරු නිලධාරීන් දැනුවත් කිරීමේ කටයුතු තවම අවසන් වී නැහැ නේද?

පලාත් පහක දැනුවත් කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා. ජාතික අමාත්‍යංශ ගණනාවකම තොරතුරු නිලධාරීන් පත් කිරීම අවසන්. අනෙකුත් පලාත්වලත් ඉදිරි කාලය තුල එම කටයුතු අවසන් කරනවා. විශාල දැනුවත් කිරීමක් අවශ්‍ය නැහැ. පනත යටතේ තිබෙන්නෙ ඉතාම සරල ක්‍රියාපටිපාටියක්. මිනිස්සු ඉල්ලුම්පත්‍ර දීලා පෝලිමේ ඉඳලා තොරතුරු ගන්න ක්‍රමයක් නෙවෙයි මේ තියෙන්නෙ. පුද්ගලයෙකුට ගිහින් කටින් ඉල්ලලා තොරතුරු ගන්නත් පුලුවන්, ඊ මේල් එකකින්, ලියුමකින්, ඉල්ලුම් පත්‍රයක් පුරවලා ගන්නත් පුලුවන්. තොරතුරු නිලධාරියා විසින් එන පුද්ගලයාගේ වුවමනාව කුමක්ද කියලා අහලා තොරතුරු සටහන් කරගෙන වැඩේ කරන්නයි තියෙන්නෙ. ඒ වගේම නිලධාරීන් පුහුණු කරලා අවසන් කරනවා කියලා එකක් නැහැ. අද පුහුණු කරන කෙනා හෙට වෙන තැනකට යන්න පුලුවන්, විශ්‍රාම යන්නත් පුලුවන්. එම නිසා ඉදිරි වසර පහ හය තුල අඛණ්ඩ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉන් පසුව එන එන නිලධාරීන් පුහුණු කරගන්න අදාල අමාත්‍යංශවලටම බාර දෙනවා. ජනමාධ්‍ය අමාත්‍යංශයට හැමදාම මුලු රාජ්‍ය සේවයම පුහුණු කරමින් ඉන්න පුලුවන්කමක් නැහැ.

 

තොරතුරු අයිතිය පියවරෙන් පියවර ඉදිරියට යද්දි තොරතුරු අයිතිය වැඩිදියුණු කිරීම සඳහා කුමන අන්දමේ උපක්‍රම භාවිත කරන්න බලාපොරොත්තු වෙනවද?

රෙගුලාසි ටික දැන් හදලා තියෙනවා. අපේ අමාත්‍යංශයේ රෙගුලාසි පෙබරවාරි තුන් වැනිදා පමණ වන විට ගැසට් වෙයි.  ඊලඟට අනෙකුත් නියෝග කොමිෂන් සභාව මගින් හදලා පෙබරවාරි මැද වෙන්න කලින් ගැසට් වෙයි. එම රෙගුලාසි සහ නියෝග අනුව කටයුතු කිරීම වඩා පහසු වෙනවා.පොත්පත් තියාගන්නෙ කොහොමද සල්ලි අය කරන්නෙ කොහොමද ඉල්ලුම් පත්‍රයක් අරගත්තහම දැනුම්දීමක් යවන්නෙ කොහොමද කියන කාරණා සියල්ල එම රෙගුලාසි සහ නියෝගවල ඇතුලත් වෙනවා. ඒ අනුව ක්‍රියාපටිපාටිය පහසු වෙනවා. ආරම්භක අවධියේදී ඉල්ලුම්පත් අති විශාල ප්‍රමාණයෙන්,  ලක්ෂ ගණනින් ලැබෙනවා කියලා එකක් නැහැ. ඉන්දියාව උදාහරණයකට ගත්තොත් පනත සම්මත කල පලවෙනි අවුරුද්දෙ කෝටි 120ක් ඉන්න ඉන්දියාවෙ ඉල්ලුම්පත්‍ර 50,000 යි හම්බවෙලා තිබුණෙ. අවුරුදු 12කට පස්සෙ ඒ කියන්නෙ ගිය අවුරුද්දෙත් හම්බවෙලා තියෙන්නෙ පනස්පන් ලක්ෂයයි. ඒ කියන්නෙ තොරතුරු සඳහා ප්‍රවේශ වෙන්නන්ගේ සංඛ්‍යාව මුලු ජන සංඛ්‍යාවෙන් 0.5% කටත් වඩා අඩුයි.

 

ඔබ කියන්නෙ, ශ්‍රී ලංකාවේ තොරතුරු ඉල්ලීම් ඉන්දියාවට සාපේක්ෂව වැඩි වේවි කියලද?

ඔව්, අපි ඉතා වේගයෙන් ඉන්දියාවට වඩා වර්ධනය වෙනවා. ඉන්දියාවට වඩා වේගයෙන් අපේ තොරතුරු ඉල්ලීමේ ප්‍රවනනතාවය වැඩියි. මම දකින විදිහට ඒ සඳහා හේතු තුනක් තියෙනවා. එකක් තමයි අපේ සාක්ෂරතාවය වැඩියි. දෙවැනි කාරණය අපේ රාජ්‍ය අංශය ජනතා කටයුතුවලට මැදිහත් වෙනවා වැඩියි. අධ්‍යාපන, සෞඛ්‍යය, ඉඩම් මේ සේරම ආණ්ඩුව. ඒ දේවල් ඉන්දියාවේ ආණ්ඩුව කරන්නෙ නැහැනෙ. මිනිස්සුන්ගෙ ජන ජීවිතයට වැඩියෙන්ම බලපාන කටයුතුවලට රාජ්‍ය මැදිහත් වන නිසා පොදු අධිකාරීන් කෙරෙහි තිබෙන වටිනාකම වැඩියි.

 

සාමාන්‍ය ජනතාව තොරතුරු අයිතිය ප්‍රයෝජනයට ගනීවි ද?

සාමාන්‍ය ජනතාව ප්‍රයෝජනයට ගනියි. හැබැයි ඩිමාන්ඩ් සයිඩ් එක වැඩි කරන එක ජනමාධ්‍යයේ වගකීමක්. තොරතුරු ඉල්ලන්න කියලා අපි ප්‍රචාරය කරන්න යන්නෙ නැහැ. එය පුවත්පත්වල, රූපවාහිනියෙ, ගුවන්විදුලියෙ, රාජ්‍ය නොවන සංවිධානවල වගේම ප්‍රජාමූල සංවිධානවල මූලික කාර්යභාරයක්. ඔවුන් එය කොතෙක්දුරට ඉටු කරනවද කියන එක ප්‍රශ්නාර්ථයක්.

 

තොරතුරු අයිතිය ක්‍රියාත්මක කිරීමේදී නව තාක්ෂණය භාවිතා කරනවද?

 දැනට ඩිජිටල් ක්‍රමයට යා යුතුයි කියන අදහස තියෙනවා. නමුත් හැම කාර්යාලයකම ඒක කරන්න අපහසුයි. උදාහරණයක් ලෙස කව්රුහරි ගිහින් ඉඩම් දෙපාර්තමේන්තුවෙන් ඉඩම් බලපත්‍රයක් ඉල්ලුවොත් ඒක ඩිජිටල් දෙන්න පුලුවන්කමක් නැහැ. මනුස්සයෙක් ගිහිල්ලා ඉඩමක මායිම් සලකුණු කරපු කොපියක් ඒක ඩිජිටල් ස්වරූපයෙන් දෙන්න බැහැනෙ. මේ අනුව ඩිජිටල් ස්වභාවයට පත් කිරීම කුඩා ව්‍යාපෘතියක් විදිහට මුල් අවුරුදු පහ හැටියට එක්තරා දුරකට යන්න තමයි හදන්නෙ. පාස්පෝර්ට් කාර්යාලයට, හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව,මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ඩිජිටල් ක්‍රමය දැනට භාවිතා කරන ආයතනවලට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඩිජිටල් ක්‍රමවේදයට දෙපාර්තමේන්තු තවම අනුගත වෙලා නැති නිසා රාජ්‍ය අංශයේ දත්ත තොරතුරු වාර්තා ඩිජිටල්කරණය සඳහා අපි කටයුතු කරනවා. ඩිජිටල්කරණය කියන්නෙ ලොකු ව්‍යාපෘතියක්. එය අපි තවත් අමාත්‍යංශ කිහිපයක සහායයත් එක්ක ලෝක බැංකු ආධාර සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන එක්ක ක්‍රියාත්මක කරන්න යන ව්‍යාපෘතියක්. දැනට එය තිබෙන්නෙ සැලසුම් මට්ටමෙයි.

 

මේ හරහා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා අවම කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවද?

 බොහෝ විට පුලුවන් වෙයි. නමුත් තොරතුරු අයිතිය ලබා දීමේ ලොකුම බලාපොරොත්තුව දූෂණ අවම කිරීම නෙවෙයි. ජනතාවට ඔවුනගේ තොරතුරු ලබා දීම. ඒවායෙහි අයිතිකරුවන් ඔවුන්. එමෙන්ම ජනතාවගේ ප්‍රශ්න කඩිනමින් විසඳාගැනීම සඳහා මාර්ගයක් ඇති කිරීම. කොස් ගහක් ඉල්ලලා ඉල්ලුම්පත්‍රයක් හම්බවෙලා නැතිනම් ඇයි ඒක පරක්කු වෙන්නෙ. ළමයව පාසැලට ඇතුල් කරන්න බැරි වුනේ ඇයි,ඉඩම් බලපත්‍රය ලැබුනෙ නැත්තෙ ඇයි වගේ එදිනෙදා ජන ජීවිතයෙ තිබෙන ගැටලුවලට මූලාරම්භයක් හැටි මුල් කාලෙ මිනිස්සු මේක පාවිච්චි කරයි. පසුකාලීනව දූෂණ අවම කිරීම වගේ අරමුණුවලට යයි. හැබැයි ඒවට යන්න ඕනෙ සංවිධානය වූ සිවිල් සමාජය. අපේ රටේ පුද්ගලයින් ඒවට යන්නෙ නැහැ. පුද්ගලයින් ඉතාම අඩුවෙන් යන්නෙ. මේ නීතිය හරහා දූෂණත් අවම වෙයි මිනිසුන්ගේ එදිනෙදා කටයුතු කාර්යක්ෂමව කිරීම සඳහා වගකීමක් රාජ්‍ය සේවයට එයි. තොරතුරු අයිතිය සියයට සියයක් ක්‍රියාත්මක වුනොත් රාජ්‍ය සේවයේ විප්ලවයක් ඇතිවන තරම් බරපතලයි. ඒ සඳහා යම් කිසි කාලයක් ගත වෙයි. එකපාරට නම් පරිවර්තනයක් වෙන්නෙ නැහැ. මොකද සම්ප්‍රදායික රාජ්‍ය නිලධාරින් ටික ඉන්නවා, සම්ප්‍රදායික රාජ්‍ය ව්‍යුහය තියෙනවා, සම්ප්‍රදායික මිනිස්සු, සම්ප්‍රදායික පත්තර ටිකක් සහ සම්ප්‍රදායික ජනමාධ්‍ය කලාවකුයි තියෙනවා. මේ සියල්ලම එකට වෙනස් විය යුතුයි.

 

ඉන්දියාවෙ තොරතුරු අයිතිය සඳහා වන ඉල්ලීම ආවෙ ජනතාවගේ අවශ්‍යතාවය ඉල්ලීම උනන්දුව මතයි. නමුත් ලංකාවෙ තත්ත්වය ඊට වඩා හාත්පසින් වෙනස්. ලංකාවෙ තොරතුරු අයිතිය සඳහා මැදිහත් වුනේ සිවිල් සංවිධාන. මේ නිසාත් නීතිය ජනතාව අතරට ගෙන යාම සඳහා යම් කාලයක් ගත විය හැකියි නේද?

අනිවාර්යයෙන්ම ඒ සඳහා කාලයක් ගත වේවි. අපේ සිවිල් සංවිධාන මේක කර තියාගෙන ඉදිරිපත් කලාට ඉන්  පස්සෙ මේක ජනතාව අතරට ගෙනියන්න ඒ අය මොකද කෙරුවෙ කියන ප්‍රශ්නය මට තියෙනවා. හැබැයි කාලයක් ගත වෙද්දි ක්‍රමානුකූලව මිනිස්සු මේ සඳහා හුරු වෙයි. ආරම්භයේදී යම් යම් දුෂ්කරතා, ගැටලු,අපහසුතා රජයට, ජනමාධ්‍යයට මෙන්ම සිවිල් සමාජයටත් තියෙයි. නිශ්චිත කාලයක් යද්දි මිනිස්සු මෙමගින් ප්‍රයෝජනයක් ගනියි. උදාහරණයක් ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටවපු කාලෙ කොමිසම වෙත ගියෙ කීයෙන් කී දෙනා ද. ඉහලම පැලැන්තියේ අය හැරෙන්නට සාමාන්‍ය ජනතාව මානව හිමිකම්  කොමිසමට ගියාද. මානව හිමිකම් හෝ මූලික අයිතිවාසිකම් නඩු ගියාද. අතීතයේදී මානව හිමිකම් නඩු සුපිරි පැලැන්තියේ හිමිකමක්. අද ඒක සාමාන්‍ය මිනිස්සු භාවිතා කරනවා.

 

තොරතුරු ලබාදීම පැහැර හැරියහොත් ගත හැකි පියවර කවරේ ද?

තොරතුරු ලබාදීම පැහැර හැරියහොත් පලමු අභියාචනය දෙපාර්තමේන්තු ප්‍රධානියාට යොමු කල හැකියි. දෙපාර්තමේන්තු ප්‍රධානියා දින 21ක් තුල විසඳුවෙ නැත්නම් කොමිෂන් සභාවට අභියාචනය යොමු කල හැකියි. මාස දෙකක් තුල එය විසඳුවෙ නැතිනම් අභියාචනාධිකරණයට යා හැකියි. එහිදීත් අවශ්‍යතාවය ඉටු නොවන විටදී ශ්‍රේෂ්ඨාධිකරණයටත් යා හැකියි. පුද්ගලයෙකු තොරතුරු ඉල්ලා අභියාචනා කිරීමේදී අභියාචනා නිලධාරීන් පස් දෙනෙකු සිටිනවා. රටේ උපරිම නීතිය දක්වා යා හැකියි.

 

ජනමාධ්‍යවේදීන්ට මේ හරහා සිදු කල හැකි සමාජමය කාර්යභාරය කුමක්ද?

 ජනමාධ්‍යවේදියාට හැකි තරම් ජනතාව දැනුවත් කරන්න පුලුවන් ඔබට මෙහෙම අයිතියක් තියෙනවා කරුණාකරලා එය ලබා ගන්න කියලා. ඒ එක්කම දූෂණයට විරුද්ධව ඔබේ ගැටලු ප්‍රමාදවීමට විරුද්ධව ඔබේ ඉල්ලීම් ඉටු කර ගැනීම සඳහා මෙය භාවිතා කරන්න යනුවෙන් ඉල්ලා සිටින්න පුලුවන්. මේ මුදල් ඔබෙයි, එම නිසා මහජනයාට වගකීමක් තිබෙනවාය යන කාරණය සම්බන්ධයෙන් පුලුවන් තරම් මහජනයා දැනුවත් කල යුතු වෙනවා. රෙගුලාසි පල වූ පසුව ඔබට තොරතරු අවශ්‍යද යනුවෙන් ඉල්ලුම් පත්‍රයක් ජනමාධ්‍යයට පල කරන්න පුලුවන්. එවැනි සහාය හා සම්බන්ධීකරණ වැඩසටහන් ජනමාධ්‍යයට ගෙනියන්න පුලුවන්.

ජනමාධ්‍යවේදීන්ට ඕනතරම් නිදහස තියෙනවා හොද වාර්තාකරණයක් කරන්න. අවශ්‍ය නිවැරදි තොරතුරු ලබා ගන්න පුලුවන්. දූෂණයක් සිදු වෙලා කියලා දැනගත්තොත් අදාල ලියවිලිත් එක්කම ඉල්ලන්න පුලුවන්.