පෙබරවාරි 03 වැනිදායින් පසුව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාවේ යෙදවිය හැකියි. – අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියයි

 

 

2017 පෙබරවාරි 03 වැනිදා රාජ්‍ය ආයතන ගැසට් කිරීම ආරම්භ කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

“ඉන් පසුව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාවේ යොදවන්න  පුළුවන්කම ලැබෙනවා.”

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරැණාරත්න පරණවිතාන සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය රංග කලංසූරිය යන මහත්වරුන් සහභාගී වී සිටි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

” ඕනෑම රාජ්‍ය ආයතනයකින් අවශ්‍ය තොරතුරක් ඉල්ලුම් කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා. තොරතුරු ලබා ගැනීමට නොහැකි කොන්දේසි තිබෙනවා.”

විශේෂයෙන් ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවලදී, පුද්ගලික වෛද්‍ය වාර්තා පිලිබඳව මේ යටතේ තොරතුරු ලබා ගන්න හැකි නොවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කලේය.

නියෝජ්‍ය අමාත්‍ය පරණවිතාන මහතාද කරුණු දක්වමින් පවසා සිටියේ ඉහල මට්ටමේ තොරතුරු නිලධාරීන් පත් කිරීම පෙබරවාරි හතර (04) වැනිදා වන විට අවසන් වනු ඇති බවය.

” අපි තොරතුරු ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්නෙ පෙබරවාරි හතර (04) වැනිදායි. ඇත්තෙන්ම අපිට සියලුම රාජ්‍ය ආයතන ආවරණය කරන්න හැකියාවක් නැති වෙයි. හැම කෙනෙක්ම විධිමත්ව කටයුතු කරනවා නම් මාස හය හතක් තුල හැම ක්ෂේත්‍රයක්ම ආවරණය කරන්න අපිට පුළුවන්”

පහල මට්ටමේ තොරතුරු නිලධාරීන් පෙබරවාරි හතර (04) වැනිදා වන විට පත් කල නොහැකි ඇයිද යන්න පිලිබඳව නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කලේය.

” උදාහරණයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව ගන්න. එහි තැපැල් නිලධාරීන් විශාල පිරිසක් සිටිනවා. ඒ හැම කෙනෙකුටම තොරතුරු නිලධාරියෙකු ගානේ පත් කරන්න දැන්ම හැකියාවක් නැහැ. හැම ප්‍රාථමික විදුහලකටම තොරතුරු නිලධාරීන් පත් කරන්න අපිට බැහැ. එය කරන්න පුළුවන්නම් හොඳයි, එය අපි අනාගතයේදී කරනවා. ආරම්භයේදී අපි ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතන සඳහා පමණයි පත් කිරීම් කරන්නෙ. ප්‍රධාන රාජ්‍ය ආයතන සඳහා අපි හඳුනගෙන සිටින තොරතුරු නිලධාරීන් දැනට පත් කරනවා.”

කලන්සූරිය මහතා අවධාරණය කලේ පහල මට්ටමේ තොරතුරු නිලධාරීන් ද පත් කර අවසන් කරන බවයි. පනතට අනුව එය සිදු කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේ වගකීම වන බවද ඔහු පෙන්වා දුන්නේය.