පසුගිය රජයට තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට දේශපාලන අධිෂ්ඨානයක් තිබුණේ නැහැ

තොරතුරු අයිතිය ක්‍රියාත්මක කිරීමේදී වෙළඳපොලට රාජ්‍ය යට කරන්නට ඉඩ නොදිය යුතුයැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චරිත හේරත් පවසයි. තොරතුරු පනත පිලිබඳව RTIwire සමඟ පැවති සංවාදයකදී හේරත් මහතා මෙම අදහස් පල කලේය.

 

ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය ස්ථාපනය කිරීමේදී ඇති විය හැකි අර්බුද මොනව ද?

පලවෙනි කාරණය තමයි මේ පනත ගැන සමාජයේ අදහස් ගොඩක් තියෙනවා. මේ පනත ගෙන එන්න පදනම් වෙච්ච දර්ශනය තමයි රාජ්‍යයට අයිති තොරතුරු සියල්ලම ජනතාවට අයිති දෙයක්ය යන කාරණය. ඒ කියන්නෙ රාජ්‍යයේ තොරතුරු ජනතාවගේ දේපලක් කියන දාර්ශනික පදනම මත තමයි හැම රටකම තොරතුරු දැන ගැනීමේ අයිතියක් රටේ අයිතිකරුවන් වන ජනතාවට තිබෙනවාය කියන අයිතිය පිලිගන්නෙ. තොරතුරු දැන ගැනීමේ පනත පිලිබඳ සාකච්ඡාව දියත් වූයේ මෙම පදනම මතයි. හැබැයි ඒ සම්බන්ධයෙන් මමත් ආණ්ඩුවෙ හිටපු කාලෙ ප්‍රශ්න කිහිපයක් මතු වුණා. එකක් තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් නෛතික කඩදාසිවල තිබුනට ඒවා සමාජයේ දැනුමක් නොමැතිකම නිසා නෛතික කඩදාසි බොහොමයක් අසාර්ථක වෙලා තියෙනවා. ලෝකෙ වෙන රටක පුරවැසියෙක් කියන කෙනා දන්නවා තමන්ට බලය ලැබෙන නීති මොනවද, තමන් අනතුරට පත්වන නීති මොනවද, තමන් රැකිය යුතු නීතිවල ස්වභාවය මොකක්ද, සමහර නීති කොයි කොයි ප්‍රමාණවලින්ද කියන එක පිලිබඳ පළල් නෛතික සාක්ෂරතාවක් ලෝකෙ දියුණු ප්‍රජාතන්ත්‍රීය රටවල තියෙනවා. අපේ වගේ රටක ඒක ඉතාම අඩු තැනක තමයි තියෙන්නෙ. උදාහරණයක් හැටියට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ අධිකරණයේ ඇති වෙලා තියෙන වෙනස මොකක්ද කියලා ඇහුවොත් හුඟක් මිනිස්සු ඒක දන්නෙ නැහැ. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ පලාත් මහ අධිකරණය කියලා වෙනම මහ අධිකරණයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ නීතිය සම්බන්ධ කාරණා ලංකාවෙ පුරවැසියා කියන කෙනා තමාගෙඅයිති කලාපයේ දෙයක් විදිහට නෙවෙයි හිතන්නෙ. තමන්ට අයිති නැති කලාපයක දෙයක් විදිහටයි හිතන්නෙ. එය උසාවියට අයිති වැඩක්, නීතිඥයින්ට අයිති වැඩක් රජයට අයිති වැඩක් විදිහටයි හිතන්නෙ. ඒ පසුබිම ඇතුළෙ තියලා බැලුවහම ලංකාවෙ තොරතුරු දැන ගැනීමේ අයිතිය කියන උත්සාහය ඇතුලෙ ගොඩක් දුරට හිටියෙ කොළඹ කේන්ද්‍රීය සිවිල් සමාජවල කට්ටියයි යම්තාක් දුරකට මේ තොරතුරු දැනගැනීමේ ක්‍රියාවලියම බිස්නස් එකක් කරන්න පුලුවන් කියලා හිතන අය. ඈත ගමක ඉන්න පොඩි අප්පුහාමිට අවශ්‍ය කරන ප්‍රවෘත්තිය මේපනත අනුව ලබා ගැනීමට අතරමැදියෙක්, අද්වාකාත් කෙනෙක්. නැතිනම් ඒ අතරමැද සේවා සපයන්නෙකු නිර්මාණය කරගන්න අවශ්‍ය කරන කට්ටියකුත් මේකෙ ඉන්නවා. එම නිසා මම කියනවා ලංකාවේ අනාගතයේදි තොරතුරු ඉක්මණින් ලබා දෙන නීතිඥ මහත්වරු බිහි වෙනවා, තොරතුරු ඉක්මණින් ලබා දෙන එන්.ජී.ඕ. බිහි වෙනවා මේ නීතියත් එක්ක තොරතුරු ලබා දීම ඉදිරියේදී නීතියක් බවට පත් වෙන්න නියමිතයි.  හැබැයි ඒක හින්දා තොරතුරු පනත ගෙන නොආ යුතුයි කියලා මම කියන්නෙ නැහැ. තොරතුරු පනත ගෙන ආව එක එක් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් විදිහට දකින්න පුලුවන්. මොකද තොරතුරු ජනතාවගෙ දේපලක් නිසා.

 

එහෙමනම් ඔබේ රජය සමයේදී තොරතුරු පනත ගෙනාවෙ නැත්තෙ ඇයි?

අපේ ආණ්ඩුව කාලෙ මම නිලධාරියෙක් විදිහට රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නවා. හැබැයි අපේ රජයට දේශපාලන අධිෂ්ඨානය (Political will) එක තිබුණෙ නැහැ. එම නිසා ඒ අය මේ පනත ගෙනාවෙ නැහැ. පනත ගෙනාවා නම් අපි වගේ නිලධාරීන්ට එය ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙම වුනා නම් අපි ඒක කරනවා. හැබැයි එම රජයට ඊටට වඩා වෙනත් වැදගත් දේවල්වලට දේශපාලන අධිෂඨානය තිබුණා. උදාහරණයක් විදිහට පැරණි එජාප රජයට  යුද්ධය පරාජය කරන්න කියලා දේශපාලන අධිෂ්ඨානයක් තිබුනෙ නැහැ. නමුත් අපි හිටපු රජයට ඒ අධිෂ්ඨානය තිබුණා. ඒක එම රජයයන්වල ස්වභාවය.

 

රටක තොරතුරු ජනයාගේ දේපලක්ය කියන මතය ගත්තහම මේ නීතිමය ආවරණය ජනයාට ලැබිය යුතු වරප්‍රසාදයක්. හැබැයි දෙවැනි කාරණය තමයි ලංකාවේ නීති ව්‍යුක්ත විදිහට අරගෙන සතුටු වුනාට සංයුක්ත තලයේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්නෙ මම කියපු නෛතික සාක්ෂරතාවය ඒ වගේම යටිතල පහසුකම් පිලිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා කියලයි මට හිතෙන්නෙ. නීතිය ධනාත්මකයි. හැබැයි භාවිතා කරන්න යාමේදී අර්බුද ගනණාවක් පැන නඟින්න ඉඩ තියෙනවා.

 

රජයේ බලධාරීන් කියන්නෙ තොරතුරු ලබා ගැනීමේ යාන්ත්‍රණය සූදානම් බවයි. නමුත් ජනතාව දැනුවත්ද කියන ප්‍රශ්නය තියෙනවා..

ලංකාවෙ රාජ්‍ය නොවන සංවිධාන හිතන්නෙ ඒ අය සියලු ජනතාව නියෝජනය කරනවා කියලනෙ. සිවිල් සංවිධාන හතර පහ එකතු වුනහම ඒගොල්ලො හිතන්නෙ අනෙක් අය රජය ඒ සිවිල්සංවිධාන ජනතාව කියල. ඔවුන් හිතන්නෙ ඒ හතර පස් දෙනා දැනගත්තහම ජනතාව දන්නවා කියලයි. ඒ නිසා තමයි ඒගොල්ලො ඒකට සූදානම් කියලා කියන්නෙ. ඒක ඇත්තටම අපේ රටේ සිවිල් සංවිධානවල තියෙන ප්‍රශ්නයක්. හැබැයි මේනීතිය පිලිබඳව රටට දැනුවත්භාවයක් නිර්මාණය කරන්න යම් කාලයක් ගත වෙයි රජය ඒ සඳහා ධනාත්මකව මැදිහත් වෙන එක හොඳයි. මොකද තොරතුරු තියෙන නිසාම දැනගැනීමට වඩා තොරතුරක් අවශ්‍ය නම් අවශ්‍ය තොරතුර ලබා ගැනීමේ අයිතිය නෛතිකව ලබා දී තිබෙන බවයි මෙහි අදහස.

 

පනත ක්‍රියාත්මක වීමේදී ඇති විය හැකි ගැටලු මොනව ද?

අපේ රටේ රජය ව්‍යාපාර කරනවා. රජයට බැංකු හතරක් පහක් තියෙනවා. රජයට රෑපවාහිනී නාලිකා දෙකක් ගුවන් විදුලි ආයතනයක් පත්තර කිහිපයක් තියෙනවා. සතොස වගේ ආයතනවල රජය ගතාග සහ සිල්ලරට විකුණනවා. මේ ආයතන සියල්ලම රජයේ ව්‍යාපාර කරනවා. ඒක වැරදි නැහැ. මම හිතන්නෙ රජයට බිස්නස් කරන්න පුලුවන්. මේ ව්‍යාපාර කලාපයේ පෞද්ගලික අංශයේ අය ඉන්නවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන්රජයේ ආයතනවල තොරතුරු ඕනෑම කෙනෙකුට ගන්න පුලුවන්. පෞද්ගලික ආයතනවල තොරතුරු ගන්න බැහැ. උදාහරණයක් ගත්තොත් මෙම පනත අනුව රජයේ රූපවාහිනී නාලිකාවක බැලන්ස් ෂීට් එකේ ඉඳලා ඕන දෙයක් ඕනම පුරවැසියෙකුට ගන්න පුලුවන්. අනාගත ව්‍යාපාරික සැලසුම් පවා ගත හැකියි. මොකද ඒවා ජනතාවගේ දෙපලක් විදිහට තියෙන නිසා. හැබැයි ඔවුනගේම තරඟකරුවෙකු වන පෞද්ගලික අංශයට ඔවුනගේ තොරතුරු රහසිගතව තියාගන්න පුලුවන්. පෞද්ගලික අංශයේ කෙනෙකුට ඕනනම් පුලුවන් පුද්ගලයෙක් යොදවලා රජය සතු සියලුම ව්‍යාපාරික සම්බන්ධතා ලබා ගන්න.  පෞද්ගලික බැංකුවකට අවශ්‍ය නම් රජයේ බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා ගන්න පුලුවන්. රජයේ බැංකු හැසිරෙන්නෙ කොහොමද ඒ අය ණය දීමේදී පාවිච්චි කරලා තියෙන ආකෘති මොනවද ඊට වඩා ආකර්ෂණීය විදිහට කොහොමද අපි ණය හිමියෙක් ආමන්ත්‍රණය කරන්නෙ වැනි සංකීර්ණ කාරණයක් ගත්තොත් එම සංකීර්ණ කාරණයෙදි රජයේ තොරතුරු මට පෙනෙන විදිහට මේ පනත හරහා ගන්න පුලුවන්. එය බරපතල කාරණයක්. විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ රජය නියැලී ඉන්නවාය කියන අදහස ඔලුවෙ තියාගෙන මේ පනතට අදාල රෙගුලාසි මාලාවක් ගෙන එන්නට සිදු වෙයි. ටෙලිකොම් කර්මාන්තය තුල රජය ප්‍රධාන තරඟකරුවෙක් රජයට ටෙලිකොම් සහ මොබිටෙල් තියෙනවා. ඒ ගේම පෞද්ගලික අංශය තුල පිටරට සමාගම් ගණනාවක් සිටිනවා. ඉදිරියේ දි රජයේ තරඟකරුවාගේ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවේ ඉඳලා සියලුම නිශ්චිත ලිපිගොණු ජනතාවට නිරාවරණය විය යුතුව තිබෙනවා. එතකොට රජය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මේ පනත එක්ක කටයුතු කරනවිට බරපතල මැදිහත්වීමක් අවශ්‍ය බවයි මම කියන්නෙ. මෙහි තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි රජය කරන ව්‍යාපාර ක්ෂේත්‍රයට මේකෙ තියෙන අදාලත්වය තේරුම් ගන්නෙ කාහොමද කියන එක.

 

උදාහරණයකට පුද්ගලික බැංකුවකට අවශ්‍ය නම් පුලුවන් පුද්ගලයින් පස් දෙනෙක් හයර් කරලා රජයේ බැකුවල සියලුම අදාල තොරතුරු නිශ්චිතවම ගන්න පුලුවන්. එම තොරතුරු දුන්නෙ නැත්නම් බැංකු අධිපතිට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගන්න පුලුවන්. මේක කොරහේ කිඹුල්ලු දැකීමක් නෙවෙයි. මේ පිලිබඳව අවධානයට ලක් කරන්න කියලයි මම කියන්නෙ.

රජය බිස්නස් කරන්නඕන නැහැ වගේ අදහසක මේ රජය ඉන්නවා කියලයි මට පෙනෙන්නෙ. රජය හිතන්නෙ පෞද්ගලික අංශයට මේක බාර දුන්නහම ඒ අය කරනවා කියලයි. තොරතුරු දැන ගැනීමේ පනතෙ රජයේ ව්‍යාපාර කලාපය ආරක්ෂා කරන රෙගුලාසියක් ආවෙ නැතිනම් ඇත්තටම රයට බිස්නස් කරන්න බැරි වෙනවා. අඩු තරමින් රෙගුලාසියකින්වත් ආවරණය කරන්න වෙයරජය සහ පෞද්ගලික අංශය දෙකම කරන ව්‍යාපාරික කටයුතුවලදී රජයේ ආයතනයේ ව්‍යාපාරික කටයුතුවල එලියට ලබා දිය යුතු තොරතුර කුමක්ද යන්න සම්බන්ධයෙන් රෙගුලාසි පැනවීම සුදුසු බවයි මගේ අදහස වෙන්නෙ.

 

රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව පනත හරහා ලබා දීම සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?

මම හිතන්නෙ එ්ක හොඳයි. මොකද රාජ්‍ය නොවන යාන්ත්‍රණයට විශාල මූල්‍ය සම්පතක් රටට එනනිසා. හැබැයි මෙය ප්‍රායෝගිකව කරන්න පුලුවන් ක්‍රියාවක්ද කියන එක තමයි මීලඟ ප්‍රශ්නය. මොකද රාජ්‍ය නොවන ආයතනයක වෙන රජයකින් මුදල් ලබා ගත්තද නැද්ද කියනඑකපැහැදිලි කර ගැනීම, රාජ්‍ය නොවන සංවිධානය සහ එම රජය අතර වන ගිවිසුමට අනුව වෙනත් රාජ්‍යයකට එහි තොරතුරු දෙන්න බැහැ කියලා තියෙනවා නම්කොහොමද කටයුතු කරන්නෙ කියන එක තවම පැහැදිලි නැහැ. ඒ වගේම මම තදින් විශ්වාස කරන දෙයක් තමයි රාජ්‍ය නොවන යාන්ත්‍රණයේ තොරතුරු පිලිබඳ ප්‍රශ්නය රාජ්‍ය නොවන සංවිධානවල විශාල අවුලක් නිර්මාණය කරන්න පුලුවන්. ඒකෙ වැරැද්දකුත් නැහැ. රාජ්‍ය නොවන සංවාධානවල වර්ග දෙකක් තියෙනවා. රාජ්‍ය නොවන සංවිධානය හදපු රටේ අභිලාශය වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා. තව රාජ්‍ය නොවනසංවිධාන වගයක් තියෙනවා මේ රටේ අභිලාශය වෙනුවෙන් පිටින් මුදල් අරගෙන කටයුතු කරන. දෙගොල්ල්‍ොම කියනේනෙ මේ රටේ අභිලාශය වෙනුවෙන් කටයුතු කරනවා කියා තමයි. හැබැයි වැඩ දිහා බලද්දි අපිට පේනවා සමහරුන්ගෙ අභිලාශයම මේ රටේ නෙවෙයි, මව් රටේ මුදල් වෙනුවෙන් සේවය කිරීමයි. සමහරුන්ගෙ අභිලාශය පිටරටින් මුදල් රැගෙන මව් රටට සේවය කිරීම. මේ දෙගොල්ලො අතර ගැටුම දැනටත් තියෙනවා. මේ ගැටුම මහ දවල් මහ පාරෙ ගැටුමක් බවට පත් වෙන්න මේ පනතෙන් අවස්ථාවක් ලැබෙනවා. මට පෙනෙන විදිහට ඒකෙ වැරැද්දක් නැහැ.

 

වෙනත් රටවල්වල තිබෙන තොරතුරු දැනගැනීමේ පනත්වලට වඩා අපේ තොරතුරු දැන ගැනීමේ පනත සුවිශේෂියි  කියලා සමහරු කියනවා. ඒ සඳහා හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නෙ මහජන සුබසිද්ධිය සඳහා වැදගත්වන කාරණාවලදි තොරතුරු ලබා දීම සම්බන්ධයෙන්වන සීමා කිරීම් නොතකා හරිමින් එම තොරතුරු ලබා ගැනීමේ අවකාශය සලසා දී තිබීම නිසයි. එම සුවිශේෂීත්වය ඔබේ විග්‍රහයට ලක් වෙන්නෙ කොහොමද?

ඔබ කියන එක ඇත්ත. අපේ තොරතුරුපනත තමයි ලෝකයේ හොඳම එක කියලා කියන්න පුලුවන්.මොකද මේ පනතට රජයේ අභිලාශය පැත්තෙන් මැදිහත් වෙලා නැහැ කියන එක මටත් පේනවා. රජයේ කට්ටියයි පෞද්ගලික අංශයේ කට්ටියයි ටදගොල්ලොම රජය හකුලුවන්න ඕනෙවගේ හිතුවහම කරන විදිහට තමයි මේ පනතෙ තියෙන්නෙ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් කියලා කියනවානම් ප්‍රශ්නයක් නැහැ.හැබැයි රාජ්‍ය කියලා කියන්නෙ දුරින්ම දුරු කරන්න ඕන මහ භයානක ව්‍යාපාරයක් කියලා හිතන එක වැරදියි. රාජ්‍යයේ ප්‍රශ්න තියෙනවා, රාජ්‍යය දුර්වලයි, රාජ්‍යයේ බුද්ධිමත්භාවය පිලිබඳව ප්‍රශ්න තියෙනවා., රාජ්‍යය නිර්මාණශීලී නැහැ, රාජ්‍යය තරඟකාරීත්වය පිලිබඳව ප්‍රශ්නයක් තියෙනවා, රාජ්‍යයේ තපිලිබඳව ප්‍රශ්න තියෙනවා. ඒවා ඇත්ත. හැබැයි රාජ්‍යය කියන්නෙ ජනතාවගේ යන්තුණයක් බව මතක තියාගත යුතුයි.රාජ්‍යය කියන්නෙ ජනතාවට වඩා හොරෙන් කරනවා කියනඑකනෙවෙයි.කව්රුහරි හිතනවා නම් රාජ්‍යය කියන එක ජනතාවට වඩා හොරෙන් තියෙන එකක් ය ඒ නිසා රාජ්‍යයට කිසි දෙයක් දෙන්න හොඳ නැහැ සියල්ල ජනතාවටයි කියලා එහි වැරැද්දක් තියෙනවා. රාජ්‍යය කියන්නෙම ජනතාවගෙන් නිර්මාණය වෙච්ච ආයතනයක්. එහි තීන්දු තීරණ ගන්නෙ ජනතාවගේ නියෝජිතයො. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් කරන්නෙ රටේම ජනතාවට තියෙන අයිතිය කාණඩ 225කට කපලා ඒ කාණ්ඩ 225ට නියෝජිතයො පත් කරලාන ඒබහුතර නියෝිතයින්ට කියනවා දැන් මෙතන ඉඳලා ඔයගොල්ලො රාජ්‍යය අරන් යන්න කියනවා. ඒගොල්ලො ජනතාවගේම සම්බන්ධයක් උඩ තමයි එන්නෙ. කව්රුහරි මන්ත්‍රීවරයෙක් හිතනවා නම් මම ජනතාවට සම්බන්ධයක් නැහැ කියලා ඒක වැරදියි. රාජ්‍යය කියන එකට තිබෙනයම් නෛතික සහ සදාචාරීය පදනම ජනතාවට විරුද්ධ එකක්ය කියලා හිතන එක වැරදියි. හැබැයි රාජ්‍යය ජනතාවට හැම විටම විවෘතවීමක් තියෙන්න ඕනෙ. මෙහි තවත් පැත්තක් තියෙනවා.  අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා බාහිර රජයන් එක්ක ඍජුවම සම්බන්ධ වී සිටින. වෙන රජයකට ඕනනම් පුළුවන් ලංකාව ඇතුලේ තියෙන සියලු ප්‍රවෘත්ති ගන්න. රජය හතුරා කියන සංකල්පය වැරදියි. රජයයි වෙළඳපොලයි කියලා දෙකක් තියෙනවා.රජය කියන්නෙ ජනතාව හදපුඑක, වෙළඳපොල කියලා කියන්නෙ තම තමන්ගෙ ශක්තිය අනුව තියෙන එකක්. වෙළඳපොලට ඕනෑ පරිදි රජය දුර්වල කරන්න තොරතුරු දැන ගැනීමේ පනත පාවිච්චි කරන්න පුලුවන්. ඒක ගැන කල්පනාකාරී වෙන්න කියලයි මම කියන්නෙ. රාජ්‍යයයි වෙළඳපොලයි අතර තරඟයේදි මම ඉන්නෙ රාජ්‍යය පැත්තෙ. රාජ්‍යයයි ජනතාවයි අතර තරඟයක් තියෙනවා කියලා කවරුහරි කියනවා නම් මම ඉන්නෙ ජනතාවගෙ පැත්තෙ ඉඳන් කතා කරන්නෙ. හැබැයි රාජ්‍යයිජනතාවයි දෙගොල්ලොම වෙළඳපොලත් එක්ක ලොකු ගනුදෙනුවක ඉන්නෙ. වෙළඳපොල ජනතාවට පටවන ආධිපත්‍යධාරිය සමහන් කරන්න රාජ්‍යය කියන ආයතනයට ලොකු හයියක් තියෙනවා. තොග භාණ්ඩ වඩා සාධාරණ මිලකට සතොස මගින් දෙන්න පුලුවන්. සතොස වගේ ආයතනයක් නැති කලොත ජනතාව කෙලින්ම වෙළෙන්දාට උගස් කෙරුවා වෙන්න පුලුවන්. මේ පනත අපි පාවිච්චි කල යුත්තේ වෙළඳපොලට රාජ්‍යය දියකර හරින්න නෙවෙයි.රාජ්‍යයේ ජනතාවට තිබෙන අයිතියක් විදිහට තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිගන්න එක හොඳයි. හැබැයි හැම තිස්සෙම මතක තබාගත යුතු වෙනවා වෙලඳපොල ජනතාවගෙන් කිහිප දෙනෙකු පාවිච්චි කරලා රාජ්‍ය යාන්ත්‍රණය අඩු කරන්න, කඩන්න, බාල කරන්න, විසුරුවන්න දරණ උත්සාහයක් තිබුණොත් ඒක පරාජය කරන්න ඕනෙ.

 

ඒ සඳහා නීති සංශෝධනයන් සිදු කිරීම හෝ රෙගුලාසි පැනවීම් ඉදිරියේදී කල හැකියි නේද?

ඔ්නෑම ඇමතිවරයෙකුට පනතකින් බලයක් තියෙනවා රෙගුලාසි හදන්න. එහෙම හදන එක හොඳයි. නියෝජ්‍ය ඇමතිතුමා ඇතුලු අය මේ ගැන විශාල දැනුමක් තියෙන අය. මේ පනත නිර්මාණය කිරීමේදී රාජ්‍ය නොවන යාන්ත්‍රණයේ විශාල සහයෝගයක් තිබුණා. බුද්ධිමත් අය මේ සඳහා උදව් කලා. හැබැයි ඒ කණ්ඩායම් බොහෝ අය එක්කො වෙලඳපොල යාන්ත්‍රණය ගැන දැනුමක් නැහැ නැතිනම් සමහර වෙලාවට එ් අය ඒකෙ නියෝජිතයො වෙනවා. එමනිසා මෙම රෙගුලාසි සෑදීමේදී රජය ඉතාම කල්පනාවෙන් රජයේ ව්‍යාපාර ආරක්ෂා වන පරිදි බාහිර වෙළඳපොලට රජය අඩපණ කරන්න ඉඩ දෛන පරිදි එය කරන්න වගබලාගන්න ඕනෙ.

 

ඇමතිවරයා කියනවා තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමේදී වීදුරු කූඩුවක ඉන්නවා වගේ කියලා. සාමාන්‍යයෙන් රජයක් මෙවැනි පනත් ගෙන එන්නෙ රජයේ අවසාන භාගයේදීයි. නමුත් වත්මන් රජය වසර දෙකක් ගත වන්නටත් මත්තෙන් තොරතුරු පනත ක්‍රියාත්මක කරනවා. ඇත්තෙන්ම ආණ්ඩුව මෙම අයිතිය ගෙන ආවෙ සද්භාවයෙන් ද?

ඒක මම දන්නෙ නැහැ. සමහරවිට සද්භාවයෙන් වෙන්න ඇති. සමහරවිට නොදැනුවත්කමට නොතේරුම්කමට වෙන්න ඇති සමහරවිට මොනවාහරි වෙනසක් කරන්න ඕනෙ කියලා හිතලා කලා වෙන්නත් පුලුවන්. මෙතන තව ප්‍රශ්නයකුත් තියෙනවා. මේ පනත හරහා යම් සද්භාවාත්මක තත්ත්වයක් හදලා තියෙනවා මේ නිලධාරීන් කියන අය වැරදිකරුවො කියලා. ඒක තව ඉදිරියට ආවොතින් රටේ කිසිම නිලධාරියෙක් තීන්දු තීරණ ගන්නෙ නැතිව ඉන්න ඉඩ තියෙනවා. අපි බ්‍රිතාන්‍යය ආකෘතිය  ඇතුලෙ ඉන්නෙ. ඒකයන්නෙ ඕනෑම පනතකින 0 – 100 දක්වා ඒ පනත ඇතුලෙ ඉඩ තියෙනවා. 0 කියන්නෙ පනත ඇතුලෙ කිසිම වැඩක් නොකර ඉන්නත් පුලුවන්. 100 කියලා කියන්නෙ නීතිය කඩාගෙන ඕන දෙයක් කරන්නත් සමහර පනත්වලින් පුලුවන්. හැබැය අපි නිලධාරියෙක් දාන්නෙ මේ 0 – 100 අතර කලමනාකරණය කරන්න. පනතක් පනතක් විදිහට තිබුණට ක්‍රියාත්මක වෙන්වන නැහැ ඒ සඳහා අයෙක් පත් කල යුතුයි. යම් විදිහකට ප්‍රශ්නයක් අරගෙන නිලධාරීන්ව සැක කරන්න ගත්තොත් නිලධාරීන් මේක 0ම තියන්න පුලුවන් එතකොට කිසි වැඩක් වෙන්නෙ නැහැ. කිසිම නිර්දේශයක් අවසර පත්‍රයක් නොදී ඉන්න ඉඩ තියෙනවා. මේ පනතින් එක පැත්තකින් රාජ්‍ය ක්ෂේත්‍රයේ ව්‍යාපාර අත්පත් කරගන්න ඉඩ තියෙනවා. තව පැත්තකින බාහිර රාජ්‍යයන් විසින් රාජ්‍යයේ තොරතුරු ඉස්සරහට ගන්න ඉඩ තියෙනවා. රාජ්‍ය නිලධාරීන් අඩපණ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මම ඒක කියලා නවත්වන්නෙ නැහැ.  තාර්කිකව ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් විදිහට මේ පනත ගන්න පුලුවන්. හැබැයි මේ අංශ පිලිබඳව අවධානයට ලක්කල යුතුයි.

 

ඒ සඳහා නීති සංශෝධනයන් සිදු කිරීම හෝ රෙගුලාසි පැනවීම් ඉදිරියේදී කල හැකියි නේද?

ඔ්නෑම ඇමතිවරයෙකුට පනතකින් බලයක් තියෙනවා රෙගුලාසි හදන්න. එහෙම හදන එක හොඳයි. නියෝජ්‍ය ඇමතිතුමා ඇතුලු අය මේ ගැන විශාල දැනුමක් තියෙන අය. මේ පනත නිර්මාණය කිරීමේදී රාජ්‍ය නොවන යාන්ත්‍රණයේ විශාල සහයෝගයක් තිබුණා. බුද්ධිමත් අය මේ සඳහා උදව් කලා. හැබැයි ඒ කණ්ඩායම් බොහෝ අය එක්කො වෙලඳපොල යාන්ත්‍රණය ගැන දැනුමක් නැහැ නැතිනම් සමහර වෙලාවට එ් අය ඒකෙ නියෝජිතයො වෙනවා. එමනිසා මෙම රෙගුලාසි සෑදීමේදී රජය ඉතාම කල්පනාවෙන් රජයේ ව්‍යාපාර ආරක්ෂා වන පරිදි බාහිර වෙළඳපොලට රජය අඩපණ කරන්න ඉඩ දෛන පරිදි එය කරන්න වගබලාගන්න ඕනෙ.