තොරතුරු පනත යටතේ උතුරු නැගෙනහිර ජනතාව ඉඩම් හා අතුරුදන් වූවන් පිලිබඳව තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කරයි

තොරතුරු පනත ක්‍රියාත්මක  වූයේ පෙබරවාරි තුන් වැනිදා ය. එහෙත් ජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා  අවශ්‍ය සූදානම අදාල රාජ්‍ය ආයතනවලට තිබේද යන්න සොයා බැලීමේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රාජ්‍ය ආයතනවලින් ජනතාව තොරතුරු ඉල්ලන්නට යාමේදී තවමත් ඒ සඳහා ප්‍රමාණවත් සූදානමක නොමැති බව සමහර අවස්ථාවලදී අනාවරණය වී තිබුණි.
මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව තම ඉඩම් පිලිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගිය අවස්ථාවකදී ලැබී තිබුණේ මෙවැනි අත්දැකීමකි.
“ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියහම ඔවුන් කිව්වා තොරතුරු නිලධාරීවරයෙක් තවම පත් කරලා නැහැ. නීතියක් සම්මත  වුන ගමන්ම අපිට නිලධාරීන් පත් කරන්න බැහැ, ඒ නිසා  තොරතුරු  ඉල්ලීම්  බාර ගන්න බැහැ කියලා. ඒ අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම්වරයා හිටියෙ නැහැ. අපි තොරතුරු කොමිෂන්  සභාවට ගිහින් පැමිණිලි කරනවා කියලා කිව්වට පස්සෙ ඒගොල්ලො ප්‍රාදේශීය ලේකම් එක්ක කතා කරලා අපේ ඉල්ලුම්පත්ර බාර ගත්තා.ඊට පස්සෙ ඔවුන් කිව්වා රිසිට් එකක් අපි ගාව නැතිනිසා රිසිට් එකක් දෙන්න බැහැ තැපෑලෙන් එවන්නම් කියලා. අපි කිව්වා නැහැ අපිට අනිවාර්යයෙන් රිසිට් එක ඕන කියලා. පැය එකහමාරක් විතර ඉඳලා අපිට රිසිට් එක දුන්නා.”
 
මිත්‍රත්වය සහ සහයෝගීතාව සඳහා තරුණ සංවිධානයේ සභාපති රවීන්ද්ර ද සිල්වා මහතා එය එසේ විස්තර කලේය. එසේ වුවද වව්නියාව ඇතුලු අනෙකුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තොරතුරු නිලධාරී වශයෙන් පරිපාලන නිලධාරීවරයෙකු පත් කර තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේ ය.
මන්නාරම මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුන්චිකුලම් ගමේ පවුල් 80ක් පමණ  රජයේ ඉඩම්වලට අදාල මිනුම් වාර්තා ඉල්ලමින් මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. අදාල වාර්තා ලබාගතහොත් එම ජනතාවට තම ඉඩම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට යාම පහසු වනු ඇත.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳව ප්‍රායෝගික අවබෝධයක් ජනතාවට ලබාදීම සඳහාත්, එය ඵලදායී අන්දමින් භාවිතයේ යෙදවීම සඳහා ජනතාව හුරු කිරීමටත් සිවිල් සංවිධාන ගනණාවක් පෙරමුණ ගෙන සිටිති. විශේෂයෙන්ම යුද්ධය පවතිද්දීත් පශ්චාත් යුද සමය තුලත් අයිතිවාසිකම් බොහොමයක් අහිමි වීම නිසාවෙන් පීඩාවට පත්ව සිටින්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන ජනතාවය.
තොරතුරු අයිතිය හරියාකාරව ක්‍රියාත්මක කරමින් තම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා උනන්දු කරවනු වස් මිත්‍රත්වය සහ සහයෝගීතාව සඳහා තරුණ සංවිධානය තොරතුරු ඉල්ලීම් 150 කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය ආයතනවලට යොමු කර තිබෙන අතර ජනතාවට අවශ්‍ය තොරතුරු ඉල්ලීම්  ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට සහාය ලබා දී තිබේ.මෙම සංවිධානය අවුරුදු තුනක් පමණ උතුරේ ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් කටයුතු කරන තරුණ කණ්ඩායමක් වන අතර සාමාජිකයන් 1500ක් ගම් 150ක පමණ  කටයුතු කරයි.
“උතුරේ ජනතාවගේ ප්‍රශ්ණ කිහිපයකට විසඳුම් හොයාගෙන යද්දි රජයේ නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය තොරතුරු සපයන්නේ නැහැ සහ ඔවුනගෙන් ලැබෙන පිලිතුරක් තමයි ඇත්තටම වෙන්නේ අසාධාණය තමයි නමුත් අපිට කරන්න දෙයක් නැහැ කියන එක.එකක් තමයි හමුදාව අත්පත්  කරගෙන ඇති ඉඩම් සම්බන්ධයෙන් දෙවැනි එක දේශපාලන පක්ෂ සමහර පෞද්ගලික සහ රජයේ ඉඩම් අත්පත් කරගෙන මිනිස්සුන්ට බෙදා දීම් සහ විකිණීම්. තුන්වැනිව අතුරුදන් වූවන් සම්බන්ධ කාරණා. මේ කාරණා සම්බන්ධයෙන් හමුදාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීත්‍යානුකූල නොවන අන්දමින් පවරාගත් සහ ඒවාට විසඳුම් සොයා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත නොහැකි වී තිබෙනවා. එම නිසා අපි මිනිස්සුන්ව උනන්දු කිරීමක් කලා ඒවාට අවශ්‍ය තොරතුරු ඉල්ලීම් යොමු කරන්න කියලා.”
රවීන්ද්ර මහතා පවසන අන්දමට කලින් මෙවැනි ඉල්ලීම් කරද්දි රාජ්‍ය ආයතනවලින් ලැබුනෙ තොරතුරු දෙන්න බැහැ වැනි උත්තර ය. නමුත් තොරතුරු අයිතිය ලැබීම හරහා මිනිස්සුන්ට යම් බලයක් ලැබුණු තත්ත්වයක් දක්නට ලැබෙන බවත් ඔවුන් ස්ව කැමැත්තෙන්ම අදාල රාජ්‍ය ආයතනවලින් ඉල්ලුම් කරන බවත් ඒ මහතා සඳහන් කරයි.
“අපි ගම්වල ජනතාව දැනුවත් කරනවා. අපේ තරුණ ස්වෙච්ඡා සාමාජිකයන් ජනතාවගේ ප්‍රශ්න මූලික කරගෙන ඔවුන්ව දැනුවත් කිරීම කරනවා. මොන වගේ තොරතුරුද ලබා ගන්න පුලුවන් , එවැනි  තොරතුරු ලබා ගැනීමෙන් පසුව ප්‍රශ්ණයට තොරතුරු හොයන්න තියෙන ඉඩකඩ මොනවද කියන එක ගැන අවබෝධයක් ඔවුනට ලබා දෙනවා. පහුගිය ආණ්ඩුව කාලෙ හමුදාවෙන් අත්පත් කරගෙන සිටින ඉඩම් පිලිබඳව කිසිම පැහැදිලි ප්රතිපත්තියක් තිබුණෙ නැහැ. නමුත් මේ ආණ්ඩුව ආවයින් පස්සෙ මිනිසුන්ගෙ විශ්වාසයක් තිබුණා හමුදාව අත්පත් කරගෙන තිබෙන ඉඩම්  සම්බන්ධයෙන් යම් විසඳුමක් ලැබෙයි කියලා. නමුත් මෙම රජයේත් ඒ සම්බන්ධයෙන්  විවිධ පරස්පර රෝධී අදහස්  තමයි තියෙන්නෙ. අගමැතිතුමා එක්සත් ජනපද සමුළුවකදි කිව්වා හමුදාව යටතේ තියෙන්නෙ අක්කර 4000යි. එයින් අක්කර 3200ක් නිදහස් කරලයි තියෙන්නේ. තව අක්කර 800යි නිදහස් කරන්න තියෙන්නෙ. මංගල සමරවීර ඇමතිවරයාත් ඒකම කිව්වා. මාස එකහමාරකට කලින් ස්වාමිනාදන් ඇමතිතුමා කිව්වා අක්කර 10000න් අක්කර 6000යි නිදහස් කරලා තියෙන්නෙ තව 4000යි නිදහස් කරන්න තියෙන්නෙ කියලයි. එම නිසා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම තොරතුරු ඉල්ලුම්  පත්‍රයක් ලියාපදිංචි තැපෑලෙන් යවලා තියෙනවා.”
අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හමුදාව විසින් නීත්‍යානුකූලව අත්පත් කරගෙන තිබෙන ඉඩම් ප්‍රමාණය කොපමණද, ඉඩම් අහිමි වීමෙන් විපතට පත් වූවන්ගේ ලැයිස්තුවක්  සහ එම ඉඩම් ප්‍රමාණයත් ඒ වගේම නීත්‍යානුකූල නොවන අන්දමින් හමුදාව රැඳී සිටින ඉඩම් තියෙනවද  එම ඉඩම්වලින් ඉවත් කර සිටින මිනිස්සුන්ගේ ලැයිස්තුවක් යන තොරතුරු ඉල්ලා තිබේ.
උතුරු  නැගෙනහිර ජනතාව ඉඩම් හා අතුරුදන් වූවන් පිලිබඳව තොරතුරු ඉල්ලීමට යාමේදී ආරක්ෂාව පිලිබඳ වියතිරේකය මුල් කරගෙන තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල හැකි ද යන ප්‍රශ්ණයද මතු වේ.
“කෙනෙකුගේ අතේ ඔප්පුවක් තියෙනවානම් එයාලගෙ ඉඩම අත්පත් කරගෙනද නැද්ද කියලා අහන්න අයිතියක් තියෙනවා  කියලා අපි විශ්වාස කරනවා. කිලිනොච්චි ඉයකච්චි ගමේ මිනිසුන්ගෙ ඉඩම් පවරා ගත්තා කියලා නිවේදනය කලේ 2012දි. මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විමර්ශනය කරද්දි හමුදාපතිවරයා ලියමනක් එවලා තියෙනවා එම ඉඩම් පවරා ගත්තෙ නැහැ පවරා ගැනීමට කටයුතු කරනවා කියලා. සමහර ඉඩම් පවරගෙනද නැද්ද කියලා නිශ්චිතව කියලා නැහැ. අපි අහන්නෙ නැහැ ආමි කෑම්ප් තියෙන්නෙ කොයෙද කියලා. අහන්නෙ මිනිස්සුන්ගේ ඉඩම් කොහෙද තියෙන්නෙ කියලා විතරයි. පවරාගත්තා කියන ඉඩම් පවරා ගත්තද නැද්ද කියන එක එම පවරා  ගැනීම්වලදී හමුදාවෙන් ලොකු මැදිහත් වීම් තියෙනවා. ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඒවා ගැන අහද්දි මේවා ඉස්සරහට ගේන්න අපිට ඉඩකඩ ලැබෙයි. දැනටත් සමහර ප්‍රාදේශීය ලේකම්වරු අපිට කියලා තියෙනවා තොරතුරු දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා.”
ඉදිරි සතියේ දී පවුල් 400ක් පමණ තොරතුරු ඉල්ලීම් පුද්ගලිකව යොමු කරන  බවත් අතුරුදන් වූවන්  සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත  සියයක් දෙසීයක් පමණ දෙනා තමන්ගේ පැමිණිලිවලට අදාල පරීක්ෂණ පිලිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන්  විමසීමට බලාපොරොත්තුවෙන් සිටී.