තොරතුරු පනත දේශපාලනඥයින්ගේ නිරුවත හෙළි කරන පනතක් – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක විසින් තොරතුරු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි RTIWire වෙත වාර්තා වේ. එම ඉල්ලීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කල මුල්ම තොරතුරු ඉල්ලීම විය හැකි බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි. තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කල අන්දම සහ ඒ සඳහා ප්‍රතිචාර ලැබුනු ආකාරය පිලිබඳව ඔහු විස්තර කර සිටියේ මෙසේ ය.

“තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වුනේ පෙබරවාරි 03 වැනිදායි.මන්ත්‍රීවරයෙක්  හැටියට පලවෙනි තොරතුරු ඉල්ලීම කරන්න ඇත්තෙ මම. පාර්ලිමෙන්තු මන්ත්රීවරුන්, මහඇමතිවරුන්ට පලාත් සභා, නගර සභා හා ප්රාදේශීය සභා මන්ත්රීවරුන්ට බාර් පර්මිට් කීයක් තියෙනවද, වැලි පර්මිට් කීයක් තියෙනවද, එයාර් පෝර්ට් එකේ කඩ කාමර කීයක් දීලා තියනවද, රක්ෂිතවලින් මේ අය කොච්චර ඉඩම් අරන් තියෙනවද, පෙට්රල්ෂෙඩ්  කීයක් දීලා තියෙනවද කියන තොරතුරු මේ වන විටත් මම ඉල්ලලා තියෙනවා. ඇත්තෙන්ම මෙය දේශපාලනඥයින්ගේ නිරුවත හෙළි කරන පනතක්. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව එම තොරතුරු ඉල්ලා අදාල තැන්වලට ලිපි යවා තිබෙනවා.

මහින්ද දේශප්‍රිය මහත්මයාගෙන් සමහර තොරතුරු මම ඉල්ලුවා. ඒවායින් ⁣තොරතුරු බොහොමයක් මට ලැබී තිබෙනවා. කෑ ගහන හුඟ දෙනෙකුගේ පැටිකිරිය මගේ අතේ තියෙනවා.”

දිවුලපිටිය ප්රාදේශීය ලේකම්වරිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් තොරතුරු ඉල්ලා තිබෙන බවත් එම තොරතුරු ඉක්මණින්ම තමා අතට පත්වනු ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කලේය. වෙනත් පුද්ගලයින් හරහාද තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කර අැත. කිසිදු ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොවුණු බවත් නියමිත කාලසීමාව තුල තොරතුරු ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.