තොරතුරු දැනගැනීමේ අයිතිය ලැබී දින 10ක් තුළ ශ්‍රී ලංකාව

තොරතුරු දැනගැනීමේ අයිතිය ලැබී සතියක් තුල තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කල අවස්ථා කිහිපයක්

 

තොරතුරු දැනගැනීමේ අයිතිය ලැබීමෙන් පසු, මහජනතාව වඩාත්ම උනන්දු වන්නේ කුමන ආකාරයේ තොරතුරු දැන ගැනීමටදැයි අපි මත විමසීමක් කළෙමු. එවිට ඔවුන්ගෙන් තුනෙන් එකක් පමණ ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ගේ කුමන ආකාරයේ හෝ දූෂණයන් පිළිබඳව දැන ගැනීමට ඔවුන් මේ අයිතිය පාවිච්චි කිරීමට අපේක්ෂා කරන බවයි; උදාහරණයක් ලෙස වත්කම් ප්‍රකාශ කිරීම්, ටෙන්ඩර් කැඳවීමේ හා ලබා දීමේදී සිදු වන අක්‍රමිකතා, ඇමතිවරුන්ගේ වැටුප් සහ ඔවුන්ට ලැබෙන අතිරේක වරප්‍රසාද ආදිය. කෙසේ වෙතත්, පෙබරවාරි 03 වන දින සිට, සමහර විශේෂ කාරණා පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා වූ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් වී ඇත. පහතින් ඔබට දැක ගත හැකි වන්නේ ඇරැඹුණු තැන සිට සතියක කාලයක දී ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා වූ ආකාරයයි.

 

1.

ඉඩම් බලෙන් අල්ලා ගැනීම: කුන්ජුක්කුලම් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් බලෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් පවුල් 71ක් කරුණු විමසා තිබුනි.

කුන්ජුක්කුලම් ප්‍රදේශවාසී පවුල් 71ක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ අක්කර 200ක කුඹුරු ඉඩම් බලෙන් අල්ලා ගැනීම පිළිබඳව විමර්ශනයක් ඉල්ලා, තොරතුරු දැනගැනීම සඳහා අයැදුම්පත් යොමු කර තිබුනි.

 

2.

මන්ත්‍රීවරුන් ගේ දූෂණ: ඇමති රන්ජන් රාමනායක ද තොරතුරු දැනගැනීම සඳහා අයැදුම්පත් යොමු කර තිබුනු අතර, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සියල්ලන්ම මෙම අයිතිය භාවිතා කළ යුතු බවයි.

රන්ජන් රාමනායක මහතා අයැදුම්පත් යොමු කර තිබුනේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් මහ ඇමතිවරුන්ට අයත් තැබෑරුම් බලපත්‍ර, ඉන්ධන පිරවුම්හල්, වැලි ගොඩ දැමීමේ බලපත්‍ර, ගුවන් තොටුපළවල පිහිටුවා ඇති කඩ-සාප්පු සහ ඔවුන් අභයභූමිවලින් අල්ලා ගෙන සිටින හෝ අයත් කර ගෙන සිටින ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහායි. තොරතුරු දැනගැනීම සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජන් රාමනායක මහතා හැඳින්විය හැකියි. ඇමතිවරයාගේ මෙම ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස දිවුලපිටිය ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ලබා දුන් බලපත්‍ර 100ක් පමණ මේ වන විට අවලංගු කර තිබේ. කෙසේ වෙතත්, රන්ජන් රාමනායක මහතා ගේ අයැදුම්පත සම්පූර්ණ ලෙස විමර්ශනය කිරීමට තවමත් හැකියාව ලැබී නැත.

 

3.

රාජ්‍ය සේවකයන්ගේ වත්කම්-හිමිකම් ප්‍රකාශන: ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට දැඩි පීඩනයක්.

යහපත් රාජ්‍ය පාලනය පිළිබඳව නිරන්තර අවදියෙන් සිටින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්  (ශ්‍රී ලංකා) ආයතනයත් අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ වත්කම්-හිමිකම් ප්‍රකාශන ඉල්ලා අයැදුම්පත් යොමු කර තිබුනි. එහි විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර විශ්වාසය පළ කරන්නේ මෙමගින් රටේ ප්‍රධානතම පුරවැසියන් දෙදෙනාට, අනෙකුත් රටවැසියන්ට ද ආදර්ශයක් වන අයුරින්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ට අනුකූලතාව දැක්වීමට නායකත්වය ගෙන ක්‍රියා කළ හැකි බවයි.

 

4.

ඉඩම් අයිතිවාසිකම්: සමාජ ක්‍රියාකාරිනියක් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) සහ ඉඩම්වලින් පිටමං කිරීම පිළිබඳව තොරතුරු ඉල්ලයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට (Centre for Policy Alternatives) අයත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් යුධ වකවානුවේ සිදු වූ මිනිස් ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇත. 2013 වර්ෂයේ දී මේ පිළිබඳ වාර්තාවක් ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කළ නමුත් එය මහජනතාව ගේ පරිශීලනය සඳහා නිකුත් කෙරුණේ නැත. මේ ගැන විමසීම් කළ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ඉරෝමි පෙරේරා මෙනෙවිය ට ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පවසා තිබුනේ එම වාර්තාව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට (LLRC) ලබා දී ඇති බවයි. කෙසේ නමුත් ඇය ඒ පිළිබඳව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමෙන් විමසූ විට එම කමිටුවේ කොමසාරිස් එවැන්නක් ගැන දැනුවත්ව නොසිටි බව හෙළි විය.  ඉරෝමි පෙරේරා මෙනෙවිය, ඒ  අවස්ථාවේදීම, ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඇතුළත් කර තිබූ තොරතුරු නිලධාරියාගේ විස්තර ලබා ගෙන, විද්‍යුත් පණිවිඩයක් හරහා, අදාල වාර්තාවේ තොරතුරු ලබා ගැනීම සඳහා අයැදුම්පතක් යොමු කළාය.

 

 

5.

අන්තර් කාලීන යුක්තිය: මඩකලපුවේ කාන්තාවෝ අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු ඉල්ලති.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් 12 දෙනෙක්ටත් වැඩි පිරිසක් තමන්ගේ අතුරුදන් වූ ළබැඳියන් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේ අයැදුම්පත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටත්, පළාත් සහ දිස්ත්‍රික් පොලිස් මූලස්ථානවලටත්, මානව හිමිකම් කොමිසමට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කෙරිණි. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ නම්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව බොහොමයක් මහජන අධිකාරීන් සහ නිලධාරීන් දැනුවත් කිරීමට මෙම කාන්තාවන්ටම සිදු වීමයි.

 

 

6.

ආර්ථික අපයෝජනය: කුලියාපිටියේ විවෘත කළ වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අක්‍රමිකතා පිළිබඳව තොරතුරු දැන ගැනීමට බෞද්ධ හිමිනමක් පෙරමුණ ගනියි.

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි තොරතුරු දැන ගැනීමට අපේක්ෂා කරන්නේ පුද්ගලික සමාගමකට වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා මහා භාරකරුට අයත් ඉඩමක් ලබා දුන්නේ කුමන හේතුවක් සඳහා ද යන්නයි. උන්වහන්සේ එම ඉල්ලීම මගින් ආයෝජන මණ්ඩලය සහ මහා භාරකරු ප්‍රශ්න කිරීමට ලක් කරන අතර, විශේෂයෙන් එම පුද්ගලික සමාගමට යම් ආකාරයක සහන ලබා දී ඇත්නම් ඒවා පිළිබඳව ද,  මෙම ව්‍යාපෘතිය හරහා මෙරටට ගෙන එන ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය කොතෙක්ද යන්න පිළිබඳව ද තොරතුරු ලබා ගැනීමට වැඩි අවධානයක් යොමු කර ඇත.