තොරතුරු දැනගැනීමට පමණක් නොව හේතු විමසීමටද අයිතිය ඇත

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත් කෙටුම්පතේ 35 වැනි වගන්තියට අනුව මහජනතාවට තොරතුරු ලබාගැනීමට පමණක් නොව තමන්ට රජයේ ආයතනයකින් අසාධාරණයක් හෝ අක්‍රමිකතාවක් සිදු වූ අවස්ථාවකදී ඊට හේතු වූ කාරණා මොනවාදැයි විමසීමේ හැකියාවද ලැබී තිබේ.

මේ අනුව තමන්ගේ දරුවා පාසලට ඇතුලත් කර නොගැනීම, තමන්ට හිමි විය යුතු උසස්වීම නොලැබී යාම, අසාධාරණ ලෙස මාරු කරනු ලැබූ විට, තමන් ඉල්ලා සිටි සේවාව අදාළ ආයතනයෙන් ඉටු නොවන අවස්ථාවකදී ඊට හේතු ලිඛිතව විමසීමේ අයිතිය දැන් මහජනතාවට ලැබී තිබේ.

යම් තැනැත්තෙකුට කවර හෝ ආකාරයකින් බලපාන තීරණයක් ලබා දෙන ඕනෑම රජයේ ආයතනයක සෑම නිලධරියෙකුම අදාළ තීරණය පිලිබදව විමසීමක් කරනු ලබන අවස්ථාවේදී එම තීරණය ගැනීමට හේතු වූ කාරණා ලිඛිතව ලබාදීමට කටයුතු කල යුතු බව පනතේ සදහන් වේ.
රජයේ ආයතනයකින් සේවාවක් ලබාගැනීමට ගිය අවස්ථාවකදී අසාධාරණයකට ලක්වන සාමාන්‍ය ජනතාවට මෙන්ම අසාධාරනයන්ට ලක්වන රජයේ සේවකයන්ටද මේ හේතුවෙන් සාධාරණය ඉටුකරවගනීමට හැකියාව ලැබී තිබේ.

මෙලෙස හේතු දක්වන ලෙස ඉල්ලා සිටින විටකදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම, තොරතුරු සැපයීම හිතා මතා අවහිර කරනු ලබන හෝ චේතනාන්විතව වැරදි සහගත හෝ අසම්පුර්ණ හෝ නිවැරදි නොවන තොරතුරු සැපයීම වරදක් බව පනතේ සදහන් වේ.

එමෙන්ම තොරතුරු කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම, කොමිෂන් සභාවේ තීරණ වලට අනුකුල නොවීම, වැඩි ගාස්තු අයකිරීම වැනි කාරණා වලදී එලෙස කටයුතු කරන නිලධරීන්ට විරුද්ධව කටයුතු කිරීමේ බලය කොමිෂන් සභාවට හිමි වී තිබේ. මෙයට අමතරව තොරතුරු වෙනස් කිරීම. අවලංගු කිරීම කිරීම හෝ වසන් කිරීම හෝ විනාශ කරනු ලබන නිලධාරීන්ටද දඩුවම් නියම වන බව පනතේ සදහන් වේ.

මෙම පනත යට‍තේ වරදක් සිදු කරනු ලබන අයෙකු මහේස්ත්‍රාත් අධිකරණයක පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු වුවහොත් රුපියල් 50,000 නොඉක්මවන දඩයකට හෝ අවුරුදු දෙකකට නොවැඩි සිරදඩුවමකට දඩුවමකට හෝ එම දඩුවම් දෙකටම යටත් විය හැක. මෙයට අමතරව තොරතුරු නිලධාරියෙකුට සහය නොදක්වන හෝ ඔවුන්ගේ ඉල්ලීම් හිත මතා පැහැර හරින නිලධාරියෙකු වෙතොත් එම නිලධාරියට එරිහිව නඩු පැවරිය හැකි අතර එහිදී වරදකරුවෙකු උවහොත් රුපියල් 10000 ක් නොඉක්මවන දඩයකට යටත් වීමට සිදු වනු ඇත.