තොරතුරු අයිතිය ලබා දුන්නෙ අවංකවම නම්, ඒ පිළිබඳව කඩිනමින් ජනතාව දැනුවත් කල යුතුයි – ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

තොරතුරු අයිතිය පනත පිලිබඳව ප්‍රචාරය කිරීම සඳහා රජයට තිබුණු දේශපාලන උනන්දුව පනත ක්‍රියාත්මක කිරීමේදී දක්නට නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි. RTI wire සමඟ සාකච්ඡාවට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කලේ ය.

 

ජනතාවට පලමු වතාවට තොරතුරු අයිතිය ලැබීම ඔබේ විග්‍රහයට ලක් වන්නේ කෙසේ ද?

බලය උපදින්නෙ ජනතාවගෙන්. ඒ වගේම මේ රටේ භාණ්ඩාගාරය පුරවන්නෙ බදු ගෙවන්නෙ ජනතාව. එම නිසා රාජ්‍යයක බොහෝ දේවල් ජනතාවගෙන් වසන් විය යුතු නැහැ. ලෝකයේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය දිනා ගැනීම සඳහා සටන් ගොඩක් තිබුණා. 1991 දි තමයි මේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලම ඉන්දියාවේ අවධානය යොමු වෙන්නෙ. ජනතාවගෙ ඉල්ලීම්, උද්ඝෝෂණ අරගල ගනණාවක ප්‍රතිඵලයක් විදිහට 1997 දි තොරතුරු පනත ප්‍රාන්ත මට්ටමින් සම්මත වෙනවා. ලෝකයේ ඉස්සෙල්ලම තොරතුරු අයිතිය පිලිගන්නෙ ස්වීඩනයෙ 1766දි. 1966 දි ඇමෙරිකා එක්සත් ජනපදය පසුව නෙදර්ලන්තය, 1985 ඩෙන්මාර්කය ආදී වශයෙන් ලෝකයේ රටවල් අපිට කලින් මේ අයිතිය පිලිගෙන තියෙනවා. දකුණු ආසියානු කලාපය ගත්තොත් 2002 පකිස්ථානයේ, 2005 ඉන්දියාවෙ, 2007 නේපාලයේ, 2004  බංගලාදේශයේ, 2014  භූතානයේ සහ මාලදිවයිනෙ තොරතුරු අයිතිය පිලිගෙන තිබෙනවා. එ් අර්ථයෙන් ගත්තත් ගතාරතුරු අයිතිය පිලිගන්න අන්තිම රට බවට අපේ රට පත් වෙනවා. කෙසේ නමුත් ප්‍රමාද වෙලා හරි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම ව්‍යවස්ථාවට ඇතුලත් කරගන්නට ලැබීම ජනතාවගේ ජයග්‍රහණයක්.

 

තොරතුරු පනත ක්‍රියාවට නැංවීම සඳහා වන යාන්ත්‍රණය සූදානම් කියලා හිතනව ද?

තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරන්න කියලා මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 25ක සුදලක් වෙන් කලා. එම මුදල වෙන් කර තිබෙන්නෙ ප්‍රධාන කාර්යාලයක් හදන්න විතරයි. එහෙම නැතිව රටපුරා හඳුනාගත් ආයතන 5000ක තොරතුරු නිලධාරීන් පුරුදු පුහුණු කරන්න නෙවෙයි. ඇත්තෙන්ම මේ මාස හයම ආණ්ඩුව කල යුතුව තිබුණේ තොරතුරු නිලධාරීන්ව ඉක්මණින් බඳවගෙන ඔවුනට විධිමත් පුහුණුවක් ලබා දීමයි. පනත සම්මත කර ගැනීමේදී ආණ්ඩුවට දේශපාලන වාසියක් ගන්න තිබුණු ප්‍රචාරක වුවමනාව පනත ක්‍රියාත්මක කර ගැනීම සඳහා තිබෙන බවක් පෙනෙන්න නැහැ.

 

ඔබ දකින විදිහට රාජ්‍ය තන්ත්‍රය විවෘත වීම රටක ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙන්න හේතු වෙන්නෙ කොහොම ද?

ප්‍රජාතන්ත්‍රවාදය කියන වවනයේ අර්ථයෙන් ගත්තත් එය ජනතාවගෙ පාලනයක්. ‘ඩිමොස්’ කියන්නෙ ජනතාව. ‘ක්‍රාටොස්’ කියන්නෙ බලය නැත්නම් පාලනය. ඒ අන්දමින් තමයි ‘ඩිමොක්‍රේෂියා’ (Demoskratia) කියන වචනය හැදෙන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්වචනය බහුතරයේ කැමැත්ත වුනාට බහුතරයේ කැමැත්ත හෝ එකඟතාවය ලබා ගැනීම සුළුතරයේ කැමැත්ත මත පාලනය වීම තමයි අපි අදවන විට අත්දකින්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඒබ්‍රහම් ලින්කන් දීලා තියෙන අර්ථකතනය අනුව ගත්තත් ජනතාව විසින් ජනතාව උදෙසා ක්‍රියාත්මක කරන ජනතාවගේ පාලනයක් නම් ඒ බලයේ උල්පත වන ජනතාවට තොරතුරු ලබා ගැනීමට අයිතියක් තියෙන්න ඕනෙ. ව්‍යවස්ථාව ඇතුලු අනෙකුත් නීති මගින් කරන්නෙ ජනතාව බැඳ තබා ගන්න එක. ආණ්ඩුව නීති පනවනවා, ජනතාව එම නීතිවලට යටත් වෙනවා. නමුත් තොරතුරු ලබා ගැනීමේ අයිතිය කියලා කියන්නෙ ජනතාව විසින් ආණ්ඩු බැඳ තබන නීතියක්. එම නිසා මෑත කාලයේ සම්මත වුනු ජනතාවට අයිතිවාසිකම් ලැබෙන නීතියක් හැටියට ගත්තත් තොරතුරු ලබා ගැනීමේ නීතිය අතිශය වැදගත්. නමුත් විශේෂ අවධානයට ලක් වූ කාරණයක් තිබෙනවා. මෙම අයිතිය ජනතාව විසින් භාවිතා කරන නීතියක් නිසාමෙය ජනතාවගේ උද්ඝෝෂණ ඉල්ලීම් මගින් නැගුණොතින් තමයි එහි ප්‍රතිඵල ජනතාවට අත්පත් කර ගැනීමට පුලුවන්කම ලැබෙන්නෙ. නමුත් අපේ රටේ එවැනි පුලුල් සංවාදයක් නොතිබීම නිසාම මේ අයිතිවාසිකම ලැබුණත් එය පාවිච්චි කරන්න ජනතාව කොයතරම් දුරට සමත්වේද කියන සැකය තියෙනවා.

 

ඔබ කියන්නෙ සාමාන්‍ය ජනතාව තොරතුරු අයිතිය හරිහැටි පිලිනොගනීවි කියලද?

1991 දි ඉන්දියාවෙ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගොවීන් අතර ඇති වූ ඉල්ලීමක ප්‍රතිඵලයක් විදිහට තමයි 2005දි සමස්ත ඉන්දියාවටම මේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නෙ ජනතාව අතර යම් කිසි කාලයක් ‍මේ සාකච්ඡාව තිබිලා සංවාදගත වෙලා ඇවිල්ලත් ඉන්දියාවෙ පවා තවමත් නිවැරදි ආකාරයට මේ අයිතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඉන්දියාවටත් අද අනවශ්‍ය තොරතුරු විශාල වශයෙන් ඉල්ලීම නිසා වැදගත් තොරතුරු ලබා දීමේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ රටේ සිවිල් සමාජයේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් හැටියට හෝ තොරතුරු අයිතිය පිලිබඳ නීතිය සම්මත කරගෙන තිබෙනවනෙ. ආණ්ඩුව මේ අයිතිය ජනතාවට ලබා දුන්නෙ අවංකවම නම් ආණ්ඩුවේ කාර්යභාරය විය යුත්තෙ මේ පිලිබඳව කඩිනමින් ජනතාව දැනුවත් කරන වැඩපිලිවෙලක් ආරම්භ කිරීම. නමුත් අපිට එහෙම සූදානමක් පේන්න නැහැ.

 

ආණ්ඩුව මෙම නීතිය ක්‍රියාත්මක කලේ කුමන අරමුණක් නිසා කියලද ඔබ හිතන්නෙ?

ආණ්ඩුවට විවිධ අරමුණු තියෙන්න පුලුවන්. ස්වාධීන කොමිෂන් සභා හෝ තොරතුරු දැන ගැනීමේ පනත හෝ අතුරැුදහන් වූ පුද්ගලයින් පිලිබඳකාර්යාලය හෝ ආණ්ඩුව තමන්ගෙ කැමැත්තෙන් ලබා දුන්නා කියලා අපි හිතන්නෙ නැහැ. 2015 ජනපතිවරණයේ තිබුණු සුවිශේෂත්වය, පාර්ලිමේන්තුව තුල තනි පක්ෂයකට බහුතර බලයක් නොමැතිවීම මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තර රැස්වීම්වල තිබුණු විරෝධය‍ෙ ආදී මේ සියල්ල විසින් ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ඨසම්පන්න යෝජනා පිලිගන්න බල කලා. ඒ නිසා තමයි අකමැත්තෙන් හෝ ස්වාධීන කොමිෂන් සභා ගේන්න සිද්ධ වුනේ. හැබැයි පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කර ගත්තට ස්වාධීන කොමිෂන් සභා මුලුමණින්ම ක්‍රියාත්මක වෙන. කොමිෂන් සභා තිබියදී ඇමතිවරයා තමන්ගේ දේශපාලන නියෝගවලට එකඟ නොවන පරිපාලන නිලධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට මාරු කරනවා. හොඳම උදාහරණය තමයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොඩනැගිල්ල ගන්න එරෙහි වුණු සහකාර ලේකම්වරිය පූල් එකට මාරුකිරීම. ස්වාමිනාදන් අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට ගොඩනැගිල්ලක් මිලදී ගන්න එරෙහි වෙච්ච ගණකාධිකාරිවරයා ඇතුලු තුන් නදනා පූල් එට මාරැ කරපු එක. කොමිෂන් සභා දුන්නට එයආණ්ඩුවේ පටු දේශපාලනයට බාධාවක් වෙලා තියෙනවා එම නිසා කොමිෂන් මගහැර යන්න ඔවුන් උත්සාහ කරනවා. ජාතික විගණන පනතක් ගේනවා කිලාජනවරමක් ලබා ගත්ත ආණ්ඩුවම අර්ජුන මහේන්ද්‍රන්ව ආරක්ෂා කර ගැනීම සඳහා විගණකාධිපතිවරයාට දිගින් දිගටම පහර දෙන්න පටන් අරගෙන තියෙනවා එමනිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී අයාිතිවාසිකම් ලබා දීම ආණ්ඩුවේහුදු කැමැත්තට වඩා එය ජනතාව විසින් ඇති කරන ලද වෙනස විසින්එවැනි ප්‍රජාතන්ත්‍රීය දේවල් ලබා දෙන්න ආණ්ඩුවට බල කර තිබෙනවා. එම නිසා ආණ්ඩුවට බලයක් ලැබෙන පලමු මොහොතේදීම මෙවැනි අයිතීන් නැවත හැකිලෙනවා. එය හරියටම මහින්ද රාජපක්ෂ මහත්මයා තුනෙන් දෙකක් හදාගෙන 17වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා 18වන සංශෝධනය ගෙන ආවා වගෙයි.

 

තොරතුරු අයිතිය පිලිබඳ පනත යටතේ රාජ්‍ය නොවන සංවිධානවලින් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ප්‍රතිපාදනය මොන විදිහෙ බලපෑමක් වේවිද?

පනතේ තොරතුරුවලට ප්‍රවේශවීම ප්‍රතික්ෂේප කල හැකි අවස්ථා 14ක් තියෙනවා. ඒවාට යම් යම් සංශෝධන අපි පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කලා ආණ්ඩුවත් ඒවා පිලිගත්තා. රජයට වගේම රාජ්‍ය නොවනසංවිධානවලටත් ජනතාවට හංගන තොරතුරු තියෙන්න බැහැ. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවෙනවානම් එය අත්‍යවශ්‍ය සෞඛ්‍යය හෝ වාණිජ රහසක් නොවෙයි නම් නඩු කටයුතුවලට බාධා නොපමුණුනවා නම් එම තොරතුරු ලබා දීමට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන බැඳී සිටිනවා. ඒ නිසා මේ තියෙන සමහර දේවල් නිරාකරණය කරගන්න වෙන්නෙ ප්‍රායෝගික භාවිතාව තුල.උදාහරණයක් ලෙස ජාතික ආරක්ෂාව වැනි දෙයක් වලක්වගන්න පුලුවන්කම තියෙන්නෙ ජනතාව ඉල්ලන තොරතුරුවල ජාතික ආරක්ෂාව පිලිබඳ තොරතුරු තියෙනවානම්බඑය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්වචනය කල යුතුයි.  එම නිසා පනත ගෙනාවටම මෙය සම්පූර්ණ වෙන්නෙ නැහැ. මෙවැනි පනතකින් හරිහැටි ජනතාවට සේවයක් කරගන්න ලැබෙන්නෙ මේ ප්‍රායෝගික භාවිතාව තුලයි.

 

රාජ්‍ය තන්ත්‍රයේ දූෂණ අඩු කිරීම සඳහා මේ පනත ලොකු බලපෑමක් වේවි කියලා හිතන්න පුලුවන් ද?

ඇත්තටම පුලුවන්. ආණ්ඩුව පොරොන්දු වෙච්ච ආකාරයට අපේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යා පලාත් අධ්‍යාපන කාර්යාල ඇතුලු පරිපාලනය සම්බන්ධ ආයතන 4500 කට ක්ෂේත්‍ර නිලධාරීන් 8000ක් පමණ පත් කලොත් ඒ පරිපාලනය ජනතාවට නිරාවරණය වෙනවා. ගමක පාරක් කොන්ක්‍රීට් කලහම ඒ සඳහා ගිය වියදම, ඇස්තමේන්තුව ආදී සියලු කරුණු ජනතාවට දැනගන්න පුලුවන්කම ලැබෙනවා. ජනතාව අවදියෙන් ඉන්නවා නම් එවැනි ව්‍යාපෘතිවල දූෂණ අවම කරගන්න පුලුවන්. ඒ වගේම එම දූෂණවලට උඩගෙඩි දෙන දේශපාලන බල අධිකාරිය හඳුනා ගැනීමට සහ ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්න පුලුවන්. තොරතුරු දැනගැනීමේ පනත පමණක්ම සියලු දූෂණ වලක්වන එකක් නැහැ. ඊට අදාල තවත් කරුණු කාරණාවන් සම්පූර්ණ විය යුතුයි. ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත්වීම සහ එය පූර්ණත්වයට පත් වීම. ඒ වගේම විධායක බලය අහෝසි කර පාර්ලිමේනතුවට වග කියන තත්ත්වයට පත් කිරීම. ඇමති මණ්ඩලය කුඩාවීම සහ එය විද්‍යාත්මකව බෙදීම, ජාතික විගණන පනතක් ගෙන ඒම, ජාතික විගණන කොමිසම පත් කිරීම ආදී කරුණු ගණනාවක් සම්පූුර්ණ වුනොත් තමයි තොරතුරු දැන ගැනීමේ පනතින් උපරිම ප්‍රයෝජනයක් ජනතාවට අත් කරගන්න පුලුවන් වෙන්නෙ. දරුවෙකු පාසලකට ඇතුලත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කෙනෙක් ගිහින් ප්‍රශ්න කලාට වැඩක් වෙන්නෙ නැහැ අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් ලමුන් බඳවා ගැනීමේ නිසි ක්‍රමවේදයක් සහ එය කඩ කරනවා නම් ඒ පිලිබඳව සොයා බැලීමට යම් පරීක්ෂණ මණ්ඩලයක් නැත්නම්. පනතින් ජනතාවට ලැබුණු අයිතිය සඳහා වන රාජ්‍ය යාන්ත්‍රණයකුත් වුවමනා කරනවා.